නිරිත දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වේ

මැයි 23, 2021

*  ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසට අවවාද කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමුද්‍ර කාලගුණ අනාවැකිය නිකුත් කරමින් නැවත දැනුම් දෙන තුරු ඊසානදිග ‍‍බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ (08N-20N, 83E-100E) ධීවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙස අවවාද කර ඇත.

කාලගුණ අනාවැකියට අනුව, ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්වය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.

මෙම තත්වය මැයි 24 වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරට බරව වයඹ දිශාවට ගමන් කර මැයි 26 වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට ඉඩ ඇති බව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශයන්හි සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල මිලිමීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වැඩි විය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත්, උතුරු, උතුරු මැද වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-55 දක්වා වැඩි විය හැක.