ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ජාතික ඵලදායිතා රන් සම්මානය හිමිවෙයි

මාර්තු 27, 2019

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි (BMICH) පැවති ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රාජ්‍ය අංශයේ පලදායිතා රන් සම්මානය දිනා ගත්තේය.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය යටතේ ඇති ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ඵලදායිතා සංකල්පයන් ක්‍රියාවට නැංවීම හා එහි හොඳම භාවිතය තෝරා ගැනීම සඳහා මෙම තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයුම්, ඉංජිනේරු, පුහුණු, පර්යේෂණ හා සංවර්ධනය යන අංශ ආවරණය වන පරිදි මෙම තරඟාවලිය සඳහා ගුවන් හමුදා මුලස්ථානයේ පිහිටි මෙහෙයුම් අධ්‍යක්ෂක කාර්යාලය, පුහුණු අධ්‍යක්ෂක කාර්යාලය, විද්‍යුත් සහ විදුලි සංදේශ අධ්‍යක්ෂක කාර්යාලය ද, චීන වරාය ගුවන් හමුදා පුහුණු පාසලේ පිහිටි කනිෂ්ට එන හා මාණ්ඩලික විද්‍යාලය සහ 1 වන පියාසර පුහුණු අංශයද , හිඟුරක්ගොඩ ගුවන් හමුදා ගුවන් හමුදා කඳවුර සහ 7 වන හෙලිකොප්ටර් බලඝනය ද ඉදිරිපත් කරන ලද බැව් ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් මෙම රන් සම්මානය ලබාගන්න ලදී.