ජල මට්ටම ඉහළ යාමත් සමඟ ගංවතුර ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම්

ජුනි 04, 2021

පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා අද (ජුනි 4) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

කළු ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට මිලි මීටර් 175 පමණ ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති අතර එම නිසා හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අගවයි.

මේ අතර දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක,  දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව  සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල කැලණි ගඟට ආසන්නයේ  ජීවත් වන ජනතාව ද සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයන් පිළිබඳව සෝදිසියෙන් සිටින ලෙස ඉල්ලා සිටී.

මීට අමතරව අත්තනගලු ඔය සහ ගිං ගඟේ පහත් බිම්වල වෙසෙන ජනතාවද සෝදිසියෙන් සිටින ලෙසට උපදෙස් දී තිබේ.

හමුදා ආධාර සහ සහන ක්‍රියාමාර්ග සූදානම්ව පවතින අතර, අවශ්‍ය වේ නම්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මුදවා ගැනිමේ මෙහෙයුම් සැලසුම්  කර ඇති බව කොඩිප්පිලි මහතා  සහතික විය.

වැඩිදුර තොරතුරු    : www.dmc.gov.lk