පස් කන්දකට යටවූ කාන්තාවක් යුද හමුදාවෙන් මුදාගැනේ

ජුනි 05, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ (ජූනි 4) දින රත්නපුර දුම්බර ඉහලපොල ප්‍රදේශයේදී නාය යෑමක් හේතුවෙන් පස් කන්දකට යටවූ පවුලක් බේරාගැනීමේ මෙහෙයුමක් සිදුකරන ලදි.

යුද හමුදා ආරංචි මාර්ග පවසන පරිදි, ඊයේ දින සිදුවූ මෙම නායයෑම පිලිබඳ වාර්තා වීමත් සමග වහාම ක්‍රියාත්මක වූ 8 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් එම ස්ථානයට ගොස් ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ එහි සුන්බුන් ඉවත් කර පස් කන්දක් තුළ සිරවී සිටි 50 හැවිරිදි කාන්තාවක් බේරාගෙන තිබේ.

බේරා ගැනීමෙන් පසු අසාධ්‍ය තත්වයේ සිටි කාන්තාව කිරිඇල්ල රෝහල වෙත යොමු කල බව යුද හමුදාව පවසයි.

තවද, මෙම ව්‍යසනයට ගොදුරු වූ 17 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සහ තවත් 60 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් භට පිරිස් විසින් සොයාගෙන තිබේ.

ගම්වාසීන් හා ප්‍රාදේශීය බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් භට පිරිස් මෙම මෙහෙයුමේ අඛණ්ඩව නියැලී සිටින බව යුද හමුදාව පවසයි.