ඕස්ට්‍රේලියානු නෞකාවන් 4ක් දිවයිනට පැමිණේ

මාර්තු 25, 2019

ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහනට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘කැන්බරා’, ‘නිව්කාසල්’, ‘සක්සස්’ සහ ‘පැරමටා’, යන නෞකාවක් 4 ක් සෙනසුරාදා (මාර්තු 23) දින දිවයිනට ලඟාවිය.

ඒ අනුව ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ නෞකාවන් කොළඹ වරායට ද ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් ත්‍රිකුණාමලය වරායට ද ලගා වූ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව මෙම නෞකාවන් පිළිගන්නා ලදී.

ඉන්දීය සාගරයේ පොදු ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව වර්ධනය කර ගැනීමට ‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය කණ්ඩායමක යුද, නාවික සහ ගුවන් හමුදා අංශ වලින් සමන්විත කණ්ඩායම් මෙම වැඩසටහන සඳහා පැමිණ ඇත. ඒ අනුව, මානුෂීය ආපදා සහන සැලසී‍ම, නෞකා අතර හෙලිකොප්ටර් යානා හුවමාරුවීම, සාගරික බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාකාරකම්, දෙරටේ ත්‍රිවිධ හමුදා පුද්ගලයින් අතර තූර්ය වාදන සංද්ර්ශන සහ ක්‍රීඩා ඉසව්වන් වැනි ක්‍රියාකාරකම් රැසක් මෙම වැඩසටහන තුල සිදු කිරීමට නියමිතව ඇත.

‘කැන්බරා’ නෞකාව දිගින් මීටර් 230.9 ක් වන අතර , පළල මීටර් 7.9 ක් සහ නෞකාව ටොන් 27500 ක ධාරිතාවයකින් යුක්ත වේ. එය නිලධාරීන් සහ නාවිකයන් 483 දෙනෙකුගෙන් සමන්විත වේ. ‘නිව්කාසල්’ නෞකාව දිගින් මීටර් 138.1 ක් වන අතර, පළල මීටර් 7.9 ක් සහ නෞකාව ටොන් 4200 ක ධාරිතාවයකින් යුක්ත වේ. එය නිලධාරීන් සහ නාවිකයන් 205 දෙනෙකුගෙන් සමන්විත වේ.

‘සක්සස්’ නෞකාවේ දිග මීටර් 157.2 ක්, පළල මීටර් 8.4 ක් සහ නෞකාව ටොන් 17900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 178 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් සමන්විත වේ. ‘පැරමටා’ නෞකාවේ දිග මීටර් 118 ක්, පළල මීටර් 6.2 ක් සහ නෞකාව ටොන් 3900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 190 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විත වේ.

තවද, ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් එළඹෙන මාර්තු 27 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ යන නෞකාවන් එළඹෙන මාර්තු 30 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.