නාවික හමුදාව, ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සමඟ අභ්‍යාසයක

ජුනි 21, 2021

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ පුහුණු නෞකා දෙකක් දින තුනක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පුහුණු නාවික අභ්‍යාසයක් සිදුකරන ලදි.

ඒ අනුව, ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘KASHIMA’ සහ ‘SETOYUKI’ යන පුහුණු යුද නෞකා ද්විත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘සාගර’ නෞකාව සමඟ කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මෙම අභ්‍යාසය සිදුකල බව නාවික හමුදාව පවසයි.

නෞකා සංග්‍රාමික පෙල හැඩයන් ඔස්සේ ගමන් කිරීම සහ නෞකා අතර පණිවිඩ හුවමාරු කිරීම ඇතුළු නාවික අභ්‍යාස මෙහිදී සිදු කරන ලදි.

මෙම අභ්‍යාසය මගින්, දෙරටේ නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, සාගරික මෙහෙයුම් සම්බන්ධ නව දැනුම ලබාගැනීම, ක්‍රමෝපායයන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි කර ගැනීම‍ට හැකියාව ලැබෙන බව නාවික හමුදාව පවසයි.

මෙම අභ්‍යාසය අවසන්ව ඊයේ (ජූනි 20) දින දිවයිනෙන් පිටත්ව ගිය ජපන් යුද නෞකා ද්විත්වය වෙත නාවික සම්ප්‍රදායානුකූලව ආචාරය පිරිනැමීම ද නාවික හමුදාව විසින් සිදු කරන ලදි.

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම අභ්‍යාසය සිදුකල බව නාවික හමුදාව සඳහන් කරයි.