ලීමා - 2019 ට සහභාගී වීම සඳහා සාගර නෞකාව මැලේසියාව බලා පිටත්ව යයි

මාර්තු 20, 2019

මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත ලීමා - 2019 ට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් වන ‘සාගර’ ඊයේ (මාර්තු 19) දින දිවයිනෙන් පිටත් වූ බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාව ලබන 26 වනදා සිට 30 වනදා දක්වා ලන්කාවි දූපතේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2019) සහභාගී වීම සඳහා ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය.

ලන්කාවි ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණය (LIMA) ආසියා පැසිෆික් කලාපයේ පවත්වන විශාලතම ප්‍රදර්ශනවලින් එකකි. 1991 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම ප්‍රදර්ශනය තුලින් රටවල් අතර ‍ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ අරමුණින් වසර 2 කට වරක් පවත්වනු ලබන අතර, මෙවර එම අභ්‍යාසය සහ ප්‍රදර්ශණය පවත්වනුයේ 15 වන වරටය. මෙම අන්තර්ජාතික ප්‍රදර්ශනය, ලන්කාවි හි මාසුරි අන්තර්ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානය (Mahsuri International Exhibition Centre), විසින් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන සඳහා සම්මන්ත්‍රණ, නැව් ප්‍රදර්ශන, සාගරික සංදර්ශන සහ නාවික සම්පත් ප්‍රදර්ශන ඇතුළත් වේ. මෙහි සමාරම්භක උළෙල සඳහා මැලේසියානු අගමැතිතුමන් සහභාගී වීමට නියමිතය.

මීට පෙර 2017 මාර්තු මාසයේදී පැවතී මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ‘සයුර’ නෞකාව සහභාගී විය.