තිස්සමහාරාමයේ ව්‍යාපෘතියක නියුතු චීන සමාගමකට අයත් සේවකයින් පිරිසක් හමුදා නිල ඇඳුම් ඇඳීමේ සිදුවීම සබැඳිව මාධ්‍ය නිවේදනය

ජුනි 29, 2021

තිස්සමහාරාමය තිස්ස වැවේ රොන්මඩ ඉවත් කිරීම සඳහා දැනට සිදුකරමින් පවතින ව්‍යාපෘතියට අදාළ පෞද්ගලික සමාගමට අයත් චීන ජාතික සේවකයින්, හමුදා කැලෑ නිල ඇඳුමින් සැරසී සිටි බව මාධ්‍ය මගින් ඉස්මතු කර ඇත.

එම ඇඳුම, අදාල විදේශ සමාගමේ සේවකයින් අඳින ඇඳුමක් වන අතර ඔවුන් මහජන චීන විමුක්ති හමුදාවට අයත් නොවන අයවලුන් බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සනාථ කරන ලදි.

තවද, ඉදිරියේදී එවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙස අදාල ආයතනය දැනුවත් කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙවැනි තත්වයන් මින් ඉදිරියට නැවත ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අදාල දේශීය පෞද්ගලික ආයතනයද දැනුවත් කර ඇත.

තවද, එවැනි ඕනෑම උත්සාහයක් වැළැක්වීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත උපදෙස් ලබා දී ඇත.