යුද හමුදාව තවත් වාහන 12 ක් ප්‍රතිනවීකරණය කරයි

ජුනි 30, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තවත් නව ලෑන්ඩ් රෝවර් මාදිලියේ වාහන 12 ක් ප්‍රතිනවීකරණය කර  යුද හමුදා වාහන සංචිතයට එක් කළ අතර එම වාහන සංකේතාත්මකව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුද හමුදා මූලස්ථානයේදී ඊයේ (ජුනි 29) භාර දෙන ලදි.

යුද හමුදාපතිවරයාගේ උපදෙස්  අනුව ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු භට පිරිස් විසින් විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා භාවිතයට ගත නොහැකිව තිබූ වාහන මෙලෙස අලුත්වැඩියා කල  බව යුද හමුදාව පවසයි.

මේ වනවිට භාවිතයෙන් ඉවත් කළ වාහන අලුත්වැඩියා කිරිමේ ව්‍යාපෘති රටපුරා පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලවල් තුල සිදුකෙරේ. ඒ අනුව කටුබැද්ද මූලික වැඩපොල, උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය සහ තවත් ස්ථාන කිහිපයක මෙම වැඩකටයුතු සිදුවන බව යුද හමුදාව තහවුරු කරයි.

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සේනාවිධායක සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ද මෙම අවස්ථාවට එක් විය.