ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් යන්ත්‍රෝපකරණ අමතර කොටස් තොගයක්

ජුලි 01, 2021

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ් මහතා විසින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ සුරක්‍ෂා නෞකාවට අවශ්‍ය අමතර කොටස් භාරදිම සඳහා වූ උත්සවයක් පසුගිය ජුනි 29 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකා මූලස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක මහතා විසින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා උණුසුම් ලෙස පිළිගන්නා  ලදි.

ඉන්දියානු වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘වරුණ’ නෞකාව 2017 දී ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද අතර, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය එම නෞකාව ‘සුරක්‍ෂා’ ලෙස අධිකාරියට පත්කළ බව වෙරළාරක්‍ෂක බලකාය සඳහන් කරයි.

ඒ අනුව ‘සුරක්‍ෂා’ නෞකාව සඳහා අමතර කොටස් සහ තාක්‍ෂණික සහාය ඉන්දීය වෙරළාරක්‍ෂක බලකාය විසින් ලබාදී ඇත.

2021 ජූනි මාසයෙදී එලෙස අමතර කොටස් තොගයක් ශ්‍රී ලංකාව වෙත ලැබීමට සලස්වා ඇත.

උත්සවයේ වැදගත්කම සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගැනීමද සිදුවිය.