පහළොස් හැවිදිරි දැරියක් අපයෝජනය කළේ යැයි යන සිද්ධිය සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට පියවර

ජුලි 07, 2021

පහළොස් හැවිදිරි දැරියක් අපයෝජනය කළේ යැයි චෝදනාව මත මෑතකදී අත්අඩංගුවට ගත් නාවික හමුදා ශල්‍ය වෛද්‍යවරයාගේ සේවය ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් පියවර ගන්නා ලදි.

මෙම සිද්ධියට අදාලව සිදු කෙරෙන ඉදිරි විමර්ශන කටයුතු සහ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි නාවික හමුදාව විසින් මෙම වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට කටයුතු කරන ලදි.

තවද, ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත නාවික හමුදාපතිගේ නියෝගයෙන් සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා අභ්‍යන්තර පරීක්ෂණයක් ද පවත්වයි.

නැවත දැනුම් දෙන තුරු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිසිදූ ආයතනයකට ඇතුළුවීමට ඔහුට අවසර හිමි නොවේ.