කාබනික පොහොර නිෂ්පාදනය ශක්තිමත් කිරීමට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්ගේ අවධානය

ජුලි 08, 2021

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස පත්වූ මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ විසින් (විශ්‍රාමික) සිය නිලයේ වැඩ භාරගත් අවස්ථාවේදී කියා සිටියේ, ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව කාබනික පොහොර නිෂ්පාදනය ශක්තිමත් කිරීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවය.

අනාගත සැලසුම් පිළිබඳ තවදුරටත් ප්‍රකාශ කරමින් ඔහු කියා සිටියේ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට අපේක්‍ෂා කරන බවයි.

නව අධ්‍යක්‍ෂ ජනරාල් විසින් දෙපාර්තමේන්තුව රටට සම්පත්දායි සංවිධානයක් බවට පරිවර්තනය කිරීමට ප්‍රතිඥා දුන් අතර සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ සුභසාධන කටයුතු වැඩි දියුණු කිරීමටද අපේක්‍ෂා කරන බව පැවසීය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් ළමාහේවගේ පත් කළ අතර මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ (විශ්‍රාමික) උපදෙස් පරිදි ඊයේ (7) දින මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික) විසින් ඔහුගේ පත්වීමේ ලිපිය පිරිනමන ලදි.

වැඩභාර ගැනීමේ දිනය සනිටුහන් කිරීම සඳහා මේජර් ජෙනරල් ළමාහේවගේ සිවිල් අරක්‍ෂක දෙපාර්තමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.