නාවික හමුදා විශේෂ පුහුණුවීම් සඳහා සමුද්‍රීය පුහුණු අකෘතියක්

ජුලි 08, 2021

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඉදිකරන ලද මෙරට ප්‍රථම ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් සම්පූර්ණ සමුද්‍රීය පුහුණු ආකෘතිය (ship - In - a- Box - SIAB) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඊයේ විවෘත කරන ලදී.

ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ අනුග්‍රහය යටතේ මෙම අංග සම්පූර්ණ පුහුණු ආකෘතිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සිදුකළ බව නාවික හමුදාව පවසයි.

දේශීය හා විදේශීය සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ ආයතන වෙනුවෙන් පවත්වනු ලබන, නෞකා වෙත ප්‍රවිශ්ඨ වීම, පරික්ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයන් හා සම්බන්ධ පුහුණු පාඨමාලාවන් තවත් ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව පැවැත්වීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

මෙම පුහුණු ආකෘතිය විවෘත කිරීමේ අවස්ථාවේදී, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය විසින් එහි පුහුණු නිදර්ශනයක් ඉදිරිපත් කරන ලදී.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ මාර්ගෝපදේශයන්ට අනුව මෙම වැඩසටහන පැවැත්විය.

නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයි එන්  ජයරත්න, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් මහතා, ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ව්‍යාපෘති තාක්ෂණික විශේෂඥ ගෙරේන්ට් රොබටස් මහතා, ජේෂ්ඨ නාවික හමුදා නිලධාරින් සහ විශේෂ යාත්‍රා බලඝණයේ සාමාජිකයින් සීමිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.