බස්නාහිර පළාත් ගුරුවරුන් එන්නත්කරණයට

ජුලි 13, 2021

යුද හමුදා වෛද්‍ය බලකාය විසින් අධ්‍යාපන අංශයේ කාර්ය මණ්ඩලයට එන්නත ලබා දීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් බස්නාහිර පළාතේ ගුරුවරුන්ටද කොළඹ යුද හමුදා රෝහලේදී එන්නත ලබා දීම ඊයේ (ජූලි 12) ආරම්භ කරන ලදි.

මෙදින බස්නාහිර පළාතේ කොළඹ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල දහස් ගණනකට සයිනොෆාර්ම් පළමු මාත්‍රාව ලබා දුන් අතර සති දෙකක් තුළ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කිරීමට සැලසුම් කර ඇති බව යුද හමුදාව පවසයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත යුද හමුදාව විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලදාරීන් එන්නත් කිරීම ආරම්භ කරන ලද්දේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලයට එන්නත්කරණය සිදු කරමිනි.

යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම සිදුකරන එන්නත්කරණ වැඩසටහන නිරීක්‍ෂණය කිරීම සඳහා ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද එක් වූ බව යුද හමුදාව පවසයි.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ පැවැති එන්නත්කරණ වැඩසටහනට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ. කපිල පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.