නාවික හමුදාවෙන් නව කිමිදුම් වාර්තාවක්

ජුලි 20, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධාන කිමිදුම් නිලධාරි (නැගෙනහිර නාවික විධානය) කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම්කරු ලෙස කටයුතු කල බල නැවි (කිමිදුම්) ඩබ්ඩබ්එන්පි සඳරුවන් විසින් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී නව කිමිදුම් වාර්තාවක් පසුගියදා පිහිටුවන ලදි.

මෙම අසීරු කිමිදුම් වාර්තාව පෙර පුහුණුවීම් ගණනාවක අවසන් ප්‍රථිපලයක් වන අතර පසුගිය මාර්තු 15 වන දින මීටර් 73ක් (අඩි 242) ගැඹුරට පුහුණු කිමිදුම් අභ්‍යාසයක් සිදුකිරීමට සමත් වූ මෙම කිමිදුම් යුගලය,පසුගිය ජුලි 13 වන දින මිටර් 75 (අඩි 246) ගැඹුරට තවත් කිමිදුම් අභ්‍යාසයක්‌ සිදුකිරීමට සමත් වූ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා ආරංචි මාර්ග වලට අනුව, කිමිදුම්කරුවන් දෙදෙනා විසින් සිදු කරන ලද මෙම සුවිශේෂී කාර්යය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙතෙක් සිදු කරන ලද ගැඹුරුතම කිමිදීම ලෙස සැලකේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම කිමිදුම් යුගලය ඉතාමත් අවදානම් සහගත මිටර් 100ක් කිමිදීමේ අභියෝගය ජය ගැනීම සඳහා සිය කැමැත්තෙන්ම යොමු වීමයි.