කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත
නිදහස් අධ්‍යාපනයට බාධාවක් නොවේ

ජුලි 23, 2021

ඩිලාන් ජයතිලක

  •     කථිකාචාර්යවරුන්ගෙන් 90% ක් සිවිල් අධ්‍යයන කාර්ය මණ්ඩලයකි.
  •     කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ පෞද්ගලික ආයතන නැත.
  •     අඩු සුදුසුකම්ලාභීන් හෝ එවැනි ඉල්ලීම් අනුව බදවාගැනීම් සිදු නොකෙරේ.
  •     අනාගතයේදී  සිවිල් - හමුදා සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා පුළුල් පසුබිමක්.
  •     වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාල පාලනය කිරීම හෝ විශවිද්‍යාල කොමිෂන් සභාව අභිබවා යෑමක් සිදුනොවේ.

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගෙන් 90% ක් සිවිල් අයවලුන් වන අතර එබැවින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මගින් රටේ නිදහස් අධ්‍යාපනයට කිසිදු බාධාවක් ඇති නොවන බව, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (ජූලි 22) දින පැවසීය.

උසස් පෙළ විභාගය සමත්ව සුළු ලකුණු ප්‍රමාණයකින් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලබන දක්ෂ සිසුන් සදහා උසස් අධ්‍යාපනය ලබා දීම මෙහි මූලික අරමුණ බව ඔහු පැවසීය.

කිසිදු අයෙකුගේ බලපෑම් මත අඩු සුදුසුකම් සහිත ළමුන් සදහා ප්‍රවේශය ලබා නොදෙන අතර අනාගතයේදී මාතෘභූමියට සේවය කිරීම සඳහා නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් නීතිගරුක හා විනයගරුක පරම්පරාවක් බිහි කිරීම මෙහි අරමුණ බව ජෙනරල් ගුණරත්න පැහැදිලි කලේය.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත මගින් රටේ උසස් අධ්‍යාපන ප්‍රමිතීන් උල්ලංඝනය නොවන බවත් එය රටේ උසස් විද්වත් මණ්ඩලයක් විසින් කෙටුම්පත්  කරන ලද්දක් බවත් ඔහු අවධාරණය කලේය.

මෙවැනි විශ්වවිද්‍යාල ලෝකයේ තවත් තිබෙන බව පැවසූ ආරක්ෂක ලේකම් තවදුරටත් කියාසිටියේ, හමූදා සහ පොලිස් විද්‍යාපීඨ හැර වෙනත් කිසිදු පෞද්ගලික ආයතනයක් මේ සඳහා අනුබද්ධ නොවන බවයි.

මාර්ගගත වීඩියෝ තාක්ෂණය ඔස්සේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම් මේ බව ප්‍රකාශ කළේය.
 
කොතලාවල ආරක්ෂක විශවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සහ නියෝජ්‍ය උපකුලපති  (ශාස්ත්‍රිය) මහාචාර්ය කේ. ඒ. එස්. ධම්මික මහතාද මෙම සාකච්ඡාවට සහභාගි විය.
 
කොතලාවල විශ්වවිද්‍යාලයේ ප්‍රමිතීන් පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම් අනාවරණය කළේ, ආචාර්ය උපාධිය සඳහා 210 දෙනෙකු ලියාපදිංචිව ඇති අතර මේ දක්වා එයින් 10 දෙනෙකු පමණක් සමත්ව ඇති බවත්ය.
 
අධ්‍යාපන අමාත්‍යංශයේ  ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ද කොතලාවල විශවිද්‍යාලයේ හිටපු ශිෂ්‍යයෙකු  බව ඔහු සඳහන් කළේය.

කොතලාවල විශ්වවිද්‍යාලයේ වර්තමාන සංයුතිය පිළිබඳව විස්තර කරමින් ජෙනරල් ගුණරත්න  තවදුරටත් කියා සිටියේ, ත්‍රිවිධ හමුදාවේ කථිකාචාර්යවරුන් 24  දෙනෙකුට අමතරව ආචාර්ය උපාධිධාරීන් 136 ක්  ශාස්ත්‍රපති/ විද්‍යාපති  උපාධිධාරීන් 73 ක් සහ ආරාධිත කථිකාචාර්යවරුන් 267 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යයන කාර්ය මණ්ඩලයක් එහි සේවය කරන බවයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සිසුන් පමණක් මේ සඳහා ඇතුලත් කරගනු ලැබේ.

මිලිටරිකරණය යනුවෙන් නගා ඇති චෝදනාවට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසූයේ, කොතලාවල විශ්වවිද්‍යාලයේ හි වත්මන් නියෝජ්‍ය උපකුලපති (ශ්‍රාස්ත්‍රිය) මහාචාර්ය කේ. ඒ. එස් ධම්මික මහතා  බව සඳහන් කරමින් මෙය සම්පූර්ණයෙන් හමුදාව විසින් පාලනය නොකරන බවයි.

මේ අතර, සිවිල් සිසුන් සමග හමුදා සිසුන් එකම ස්ථානයක ඉගෙන ගැනීමේදී ගැටළු ඇති වේ යැයි නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උපකුලපති සඳහන් කළේ, සිසුන් අතර ඇති මෙම ඒකාබද්ධ පරිසරය, දියුණු සමාජයක් බිහිකිරීමට අවශ්‍ය හමුදා - සිවිල් සහයෝගිතාව සඳහා ගැඹුරු වූ පසුබිමක් නිර්මාණය කර ඇති බවයි.

2012  වර්ෂයේදී සිවිල් සිසුන් (Day Scholars) ඇතුළත් කර ගැනීමෙන් පසු අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් අතර ඉතා යහපත් වු තරගකාරී තත්වයක් ඇති වූ බවද ඔහු සඳහන් කළේය.

සිවිල් ශිෂ්‍යයන් හමුදා නිලධාරින් සමග එකම දේශන ශාලාවල අධ්‍යාපනය ලැබුවද ඔවුන්ට හමුදා පුහුණුව ලබා නොදෙන බවත් සිවිල් සිසුන් සඳහා ඔවුන්ගේ අනාගතයට වැදගත් අමතර කුසලතාවයක් ලෙස සංගීත කුසලතා, නායකත්ව ගුණාංග, ක්‍රීඩා කුසලතා ආදී ක්‍රියාකාරකම් මෙහි ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2012 වර්ෂයේ සිට මේ දක්වා   සිවිල් හා හමුදා සිසුන් අතර කිසිදු ගැටලුවක් සිදුව නොමැති බව ද උපකුලපතිවරයා තරයේ කියා සිටියේය.

1981 දී අංක 68 දරණ පාර්ලිමේන්තු පනත මගින් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය ආරම්භ කර ඇති අතර 1988 අංක 27 දරණ සංශෝධන පනත මගින්   උපාධි ප්‍රදානය කල හැකි පරිදි විශ්වවිද්‍යාල තත්වය ලබා දුන් බව මේජර් ජෙනරල් පීරිස් සිහිපත් කළේය.

2007 අංක 50 දරණ පනත් සංශෝධනය මගින් 2007 වර්ෂයේදී, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලෙස නම් කරන ලද නමුත් ව්‍යුහාත්මක වෙනසක් එමගින් හඳුන්වා නොදුන් බව ඔහු සඳහන් කළේය.

නව කෙටුම්පත මගින්  "කළමණාකාර මණ්ඩලය" වෙනුවට මෙම ආයතනය පාලනය කිරීම සඳහා "පාලක මණ්ඩලය" හදුන්වා දී ඇති අතර එය නව ව්‍යුහාත්මක රාමුවේ ඇති පීඨ මණ්ඩල, සනාතන සභාව සහ පාලක සභාව ලෙස අනුගත වන බව උපකුලපතිවරයා පැවසීය.

මෙම 'පාලක මණ්ඩලය' සඳහා උසස් අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ පළපුරුදු විද්වතුන් දෙදෙනෙකු ඇතුළත් බවද ඔහු පැවසීය.

මෙමගින් වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාල පාලනය කිරීම හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලතල අභිබවා යෑමක් සිදු නොවන අතර මෙය හුදෙක් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හා සමගාමීව පවත්වා ගෙනයාම  සඳහා අවශ්‍ය වූවක් බව මේජර් ජෙනරල් පීරිස් තවදුරටත් සදහන් කරන ලදී.

තවද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ සියලුම හමුදා  අධ්‍යන ආයතන මෙම පනතට ඇතුළත් කිරීමට අවශ්‍ය බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.

විවිධ පාර්ලිමේන්තු පනත් මගින් පිහිටවූ සාගර විශ්වවිද්‍යාල පනත, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනත සහ බෞද්ධ සහ භික්ෂු විශ්වවිද්‍යාල පනත පිළිබඳ උපුටා දක්වමින් මෙයද ඒ හා සමාන අධ්‍යාපන ආයතනයක් බව ඔහු පැවසීය.

ඒ ආකාරයෙන්ම ‘කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල’ පනත හදුන්වා දී ඇති අතර විශේෂයෙන්ම එය  කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය  පාලනය කිරීම සඳහා පමණක් වන  බවත් උපකුලපතිවරයා පෙන්වා දුන්නේය.

 තවත් පැනයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ , ලන්ඩන් උසස් පෙළ සමත් දේශීය සිසුන්ටද ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයේ මට්ටමට සමාන ප්‍රමිතීන්ට අනුව ලියාපදිංචි වීමට අවස්ථාව ඇති අතර ඒ හා සමාන සුදුසුකම් ඇති විදේශ සිසුන්ට ද මෙහි ලියාපදිංචි විය හැකි බවයි.

මෙහි ශිෂ්‍ය සංගම් නොමැති බව පවසමින් ඔහු කියා සිටියේ ඒ වෙනුවට වෙනත් විවිධ සංගම් පවත්වාගෙන යනු ලබන බවද පැවසීය.
 
ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල ප්‍රමිතීන්ට අනුව ඇති මෙහි විෂය මාලාවන් පිළිබඳව ද සඳහන් කරමින් ඔහු පැවසුයේ, රාජ්‍ය උසස් අධ්‍යාපන පරිපාලන අංශයේ දක්ෂතා දැක්වූ මහාචාර්යවරයකුගේ නායකත්වයෙන් තත්ව සහතික කිරීමේ මධ්‍යස්ථානයක් මෙහි ක්‍රියාත්මක වන බවයි.

මාධ්‍යයට පිළිතුරු දෙමින් මහාචාර්ය කේ. ඒ. එස්. ධම්මික මහතා සඳහන් කළේ, ඉහත සාකච්ඡා කළ කරුණු හැරුණු විට විශේෂයෙන්ම මෙම විශ්වවිද්‍යාලය වෘත්තීමය අධ්‍යාපනය සඳහා නැඹුරු ආයතනයක් වන අතර අපරාධ අධිකරණ පීඨය ඉන් එකක් බවයි.

එම නිසා, මෙය අනෙකුත් විශ්වවිද්‍යාල අභිබවා යාමක් නොවන අතර ඒ වෙනුවට සහයෝගීත්වය අපේක්ෂා කරන බව ඔහු පැවසීය.