ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ වේ

අගෝස්තු 01, 2021

ඇස්ට්‍රාසෙ‍ෙනකා (කොවිෂීල්ඩ්) එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුද හමුදා වෛද්‍ය බලකාය විසින් කොළඹ විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේදී අද (අගෝස්තු 1) දින ආරම්භ කරන ලදි.

ඒ අනුව අද සහ හෙට විහාර මහා දේවි උද්‍යානයේ එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘතව පවති.

එමෙන්ම එන්නත් ලබාදීමේ වැඩසටහන බත්තරමුල්ල දියත උයනේදී අගෝස්තු 2 වන දින සිට 4 දින දක්වා පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව යුද හමුදාව පවසයි.

නාරාහේන්පිට යුද හමුදා රෝහල, පනාගොඩ බෝධිරාජාරාමය (යුද හමුදා පන්සල) සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා කඳවුර පරිශ්‍රයේ එන්නත් කිරීමේ මධ්‍යස්ථාන අද උදෑසන සිට සවස් කාලය දක්වා ක්‍රියාත්මක වේ.

එසේම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සියළුම දෙනා සඳහා දෙවන මාත්‍රාව ලබාදීම ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ධර්මාලෝක විද්‍යාලය, කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය යන ස්ථාන වල ඇති එන්නත්කරණ මධ්‍යස්ථාන මගින්ද අඛණ්ඩව සිදුකරන බව යුද හමුදා ආරංචි මාර්ග තහවුරු කළේය.

දෙවන මාත්‍රාව ලබාගැනීමට බලාපොරොත්තු වන ජනතාවට තම එන්නත් කාඩ්පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණෙන ලෙස යුද හමුදාව පවසයි.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ජාතික එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව සිදු කෙරේ.