ගුවන් හමුදාව නිෂ්පාදනය කරන ලද ඔක්සිජන් චිකිත්සා ඒකක සෞඛ්‍ය අංශයට

අගෝස්තු 04, 2021

කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් අද (අගොස්තු 4) දින ගුවන් හමුදා මූලස්ථානයේදී සෞඛ්‍ය බලධාරීන් වෙත භාර දෙන ලදී.

තෙල්දෙණිය මූලික රෝහල සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල සඳහා මෙම ඔක්සිජන් චිකිත්සා ඒකක ලබාදීමට නියමිතයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා වෙත නිල වශයෙන් මෙම උපකරණ භාර දුන් බව ගුවන් හමුදාව පැවසීය.

කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය සහ රත්මලාන මුලික කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව මෙම ප්‍රතිකාර ඒකක නිෂ්පාදනය කළ බව ගුවන් හමුදාව තවදුරටත් පැවසීය.