කලාපීය සමුද්‍ර ආරක්‍ෂාව ප්‍රවර්‍ධනය සඳහා කොළඹ ආරක්‍ෂක සමුළුව

අගෝස්තු 05, 2021

සමුද්‍ර ආරක්‍ෂණ සහයෝගීතාව පිළිබඳ පස්වන ජාතික ආරක්‍ෂක නියෝජ්‍ය උපදේශක සමුළුව වන ‘කොළඹ ආරක්‍ෂක සමුළුව’ ඊයේ (අගෝස්තු 4) දින ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින නියෝජනය කරමින් ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව සඳහා වූ මෙම ත්‍රෛපාර්ශ්වික සමුළුව 2011 වර්ෂයේදී එවකට ආරක්ෂක ලේකම් සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදා නිළධාරීන් පිරිසක් මෙම සමුළුව නියෝජනය කරන ලදී.

කලාපීය සමුද්‍රීය මෙහෙයුම් වල ආරක්‍ෂාව, නීති විරෝධී ජාවාරම වැළැක්වීම, මුහුදු කොල්ලකෑම් ඇතුළු ආරක්‍ෂක අවශ්‍යතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ත්‍රෛපාර්ශවික සහයෝගීතාව, සමුද්‍රීය නීති විරෝධී කටයුතු අවම කිරීම යනාදිය කෙරෙහි මෙම සමුළුවේදී අවධානය යොමු කළ බව හමුදාව පැවසීය.

වර්තමාන ආරක්‍ෂක පියවරයන්, විධිවිධාන, නවීන තාක්‍ෂණ භාවිතය, ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ එවැනි ආරක්‍ෂක පියවරයන්හි ඵලදායිතාව සහ තිරසාරභාවය ආදිය පිළිබඳවද මෙම සැසිවාරයේදී සාකච්ඡා කර ඇත.

තවද, කලාපයේ හා ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධ මෙහෙයුම් වල අභිවෘද්ධිය සඳහා සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණු කළ හැකි අදහස් හා අත්දැකීම් රැසක්ද හුවමාරු කර ගත් බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක ජෙනරාල්, දකුණු ගුවන් ආඥාපති, යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී, ගුවන් හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්ෂ, යුද හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ ජෙනරාල්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිතයින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා සහ සාක් කලාපීය අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම සහ සමුද්‍ර අපරාධ අංශයේ අධ්‍යක්‍ෂ සහ රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙම සැසිය සඳහා සහභාගී වුහ.