මුහුදු කූඩැල්ලන් කිලෝ 820 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

අගෝස්තු 05, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය කීරිමූන්දලම වෙරළ තීරයේ ඊයේ (අගෝස්තු 04) දින සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් රුපියල් මිලියන 16 ක් වටිනා මුහුදු කූඩැල්ලන් කිලෝ 820 ක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු සහ ඩිංගි යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.

එපමණක් නොව, මෙම මුහුදු කූඩැල්ලන් තොගය ප්‍රවාහනය කිරීම සඳහා පැමිණි ලොරි රථයක් සමඟ මුහුදු වෙරළේ රැඳී සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මෙම සැකකරුවන් අවුරුදු 26 ත් 44 ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව හදුනාගෙන ඇති අතර ඔවුන් සමග මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රාව සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දෙන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදෙනු ලබන මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කළ බව නාවික හමුදා පුවත් සනාථ කරයි.