සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශණය ගංගාරාමය විහාරස්ථානයෙන් ඇරඹේ

අගෝස්තු 05, 2021

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශණය කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (අගෝස්තු 5) දින ආරම්භ විය.

මෙම පුජනිය වස්තූන් රැගත් රථ පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ සුභ මොහොතින් ගංගාරාමය විහාරස්ථානය වෙත පැමිණෙන ලදි.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ආගමික වතාවත් පැවැත්විය.

ඒ අනුව, චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ අගෝස්තු මස 8 වන දින දක්වා ගංගාරාමය විහාරස්ථානයේදී ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා ප්‍රදර්ශණය කෙරේ.

ඉන් අනතුරුව, එම වස්තූන් රැගත් පෙරහැර දින 47 ක් පුරා සංචාරය කරමින් දිවයින පුරා දිස්ත්‍රික්ක 18 ක් ආවරණය වන පරිදි විහාරස්ථාන 48 කට පැමිණෙනු ඇත.

මෙම උත්තරීතර පුණ්‍යකර්මයේ ප්‍රධාන පුරෝගාමියෙකු වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාද මෙහිදී මෙම පුජනීය වස්තූන් වන්දනා කරගත්තේය.

සඳහිරු සෑ කොත් වහන්සේගේ මුදුනත තැම්පත් කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම චූඩා මාණික්‍ය පූජා කරන ලද කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වන ආතර් සේනානායක මහතාද මේ අවස්ථාවට සහභාගී විය.

පූජනීය මහා සංඝරත්නය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික), බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.