ආරක්ෂක අංශ වෙතින් ලේ දන්දීමේ වැඩසටහනක්

අගෝස්තු 06, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් රටේ පවතින වසංගත හේතුවෙන් ඇතිවන අධික රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවාව සමඟ එක්ව ලේ දන්දීමේ ව්‍යාපාරයක් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ඊයේ (4) පවත්වන ලදි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මෙය සංවිධානය කළ බව ගුවන් හමුදාව පවසයි.

මේ අතර මහනුවර සහ මාතලේ රෝහල් වල රෝගීන්ගේ රුධිර අවශ්‍යතාව සපුරාලීම සඳහා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පැවති ලේ දන් දීමේ ව්‍යාපාරයකදී 11 වන සේනාංකයේ, පුහුණු පාසල් හා ඒකක වල සේවය කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් ලේ දන් දීම සිදු කෙරිණි.

දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ගුණ සැමරීම සඳහා මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම ලේ දන් දීමේ ව්‍යාපාරය සංවිධානය කළ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.