නීති විරෝධී ලෙස රැගෙන එන ලද වියලි කහ කිලෝ 5300 කට අධික තොගයක් වෙරළාරක්ෂක භාරයට

අගෝස්තු 09, 2021

හලාවත වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ 5372 ක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සුරක්ෂා නෞකාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී වියලි කහ පිරවූ ගෝනි 143 ක් සමග ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු සහ එක් ඉන්දියානු යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

අත්අඩංගුවට ගත් කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තුරු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ තබා ඇති බව ද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

දැනට පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් පස් දෙනා සහ ඔවුන්ගේ යාත්‍රාව ඉන්දීය මුහුදු තීරය වෙත  ආපසු යවන ලදී.

සෞඛ්‍ය ආරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වැටලීම සිදු කර ඇති බව ආරංචි මාර්ග තහවුරු කළේය.