යුද හමුදාව රුපියල් මිලියන 6 ක් වටිනා කහ තොගයක් අත්අඩංගුවට ගනී

අගෝස්තු 17, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පසුගියදා මැදවච්චිය-මන්නාරම මාර්ගයේ යොදවා තිබු මාර්ග බාධකයේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ නීති විරෝධී අමු කහ කිලෝ ග්‍රෑම් 1000 ක් අත්අඩංගුවට ගෙන ඇත.

54 වන සේනාංකය යටතේ වූ 15 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් බොලෙරෝ කැබ් රථයක ප්‍රවාහනය කරමින් තිබු මෙම කහ තොගය අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.

මෙම කහ තොගය නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් ගෙන ආ බවට සැකකරන අතර එහි වටිනාකම රුපියල් මිලියන 6ක් පමණ වන බව යුද හමුදාව තවදුරටත් පවසයි.

අත්අඩංගුවට ගත් කහ තොගය සහ සැකකරුවන් සමඟ වාහනය වැඩිදුර විමර්ශන සඳහා මඩු පොලිසියට භාර දී ඇත.