නීති විරෝධී වියළි කහ කිලෝ 370 ක් කල්පිටියෙදී නාවික හමුදාව අත්අඩංගුවට

අගෝස්තු 18, 2021

නාවික හමුදාව විසින් කල්පිටිය කලපුවේ පිහිටි කිලතිව් දූපතේදී නීති විරෝධී ලෙස ගෙන ආ වියළි කිලෝග්‍රෑම් 370 ක් සමඟ සැකකරුවෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත.

කල්පිටිය කළපු ප්‍රදේශයේ වයඹ නාවික විධානය මගින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී උර 10ක අසුරා තිබූ වියලි කහ තොගය හා ඩිංගි යාත්‍රාවක් මගින් වල්ලම් යාත්‍රාවකට එම උර කිහිපයක් පටවමින් සිටි සැකකරු නාවික හමුදා භාරයට ගෙන ඇත.

තවද ඩිංගි යාත්‍රාව සහ වල්ලම් යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වන කල්පිටිය මොහොත්තුවාරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.

අත්අඩංගුවටගත් වියලි කහ සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දුන් බව නාවික හමුදාව පවසයි.

පවත්නා කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම මෙහෙයුම සිදු කළ බව නාවික හමුදාව තහවුරු කරයි.