මහජන චීනයෙන් මෙරට ආරක්‍ෂක හමුදා සඳහා සයිනොෆාම් එන්නත් 300,000 ක්

අගෝස්තු 26, 2021

චීන ආරක්‍ෂක ඇමති ජෙනරල් වෙයී ෆෙන්ග්, මෙම වසරේ අප්‍රේල් මස සිදුකළ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුරදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මහජන චීන ජනරජයේ ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් එළඹෙන අගෝස්තු 28 සෙනසුරාදා දින මෙරටට ලබාදීමට නියමිතය.

ජෙනරල් ගුණරත්න විසින් මෙම අවශ්‍යතාවය, දෙරටෙහි නිලධාරීන් අතර පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේදී පෙන්වා දෙනු ලැබුවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සිදුකරන කාර්යභාරය හේතුවෙනි.

ඒ අනුව ආබාධිත හමුදා සාමාජිකයින්හට, යුද විරුවන්ගේ වැන්දඹුවන්/ ඔවුන්ගේ යැපෙන්නන්ට සහ විශ්‍රාමික රණවිරුවන්හට ද මෙමගින් එන්නත්කරණය සිදුකිරීමට අපේක්‍ෂා කෙරේ.

මහජන චීන ජනරජයෙන් දෙරට අතර හමුදාමය සහයෝගීතාවය යටතේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත ලබාදෙන මෙම එන්නත් තොගය රැගත් ශ්‍රීලංකන් ගුවන් යානය සෙනසුරාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණීමට නියමිතයි.

ඒ අනුව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා වෙත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජිතයන් විසින් නිළ වශයෙන් එම එන්නත් තොගය ලබාදිමට නියමිතයි.