රුපියල් මිලියන 41 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

අගෝස්තු 26, 2021

රුපියල් මිලියන 41 ක් වටිනා කිලෝ 139 යි ග්‍රෑම් 930 ක් පමණ වන ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් පේදුරුතුඩුව මනල්කාඩු මුහුදේදී නාවික හමුදාව විසින් අද (අගෝස්තු 26) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානය විසින් උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී කේරල ගංජා තොගය රැගෙන යමින් සිටි මෙම සැක කටයුතු ඩිංගි යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව පවසන පරිදි, එම මුහුදු ප්‍රදේශයේ අඛණ්ඩව සිදු කළ සෝදිසි කිරීම් වලදී ගංජා පුරවන ලද තවත් ගෝනි කිහිපයක් සොයා ගැනීමට හැකි වී ඇත.

ජාවාරම්කරුවන් විසින් මෙම ගංජා තොගය ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා මෙරටට ගෙන ඒමට උත්සාහ කර ඇති බවට නාවික හමුදාව සැක කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 සහ 26 වයස්වල පසුවන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සමඟ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසියට භාර දී ඇත.

සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම මෙහෙයුම සිදු කළ බව නාවික හමුදාව තහවුරු කරන ලදී.