දකුණු කොළඹ රෝහලේ වාට්ටු පහසුකම් යුද හමුදාව විසින් පුළුල් කෙරේ

අගෝස්තු 27, 2021

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඇඳන් 250 ක් සහිත වාට්ටු තුනක් ස්ථාපිත කර ඊයේ (අගෝස්තු 26) සෞඛ්‍ය බලධාරීන් වෙත භාර දෙන ලදී.

ආරක්ෂක සේනා -බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපාගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂක සේනා මූලස්ථානයේ -බටහිර, 14 වන සේනාංකය, සැපයුම් බලඇණි සහ ශ්‍රී ලංකා ඉංජිනේරු භට පිරිස් මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය විසින් යකඩ ඇඳන් නිෂ්පාදනය කළ අතර යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් වාට්ටුවලට අවශ්‍ය අත්‍යවශ්‍ය දෑ, ගෘහ භාණ්ඩ සහ අනෙකුත් උපාංග ලබා දුන් බව යුද හමුදාව පවසයි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් සහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.