2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසිකිරීමෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් වේ

අගෝස්තු 30, 2021
  • ටෝකියෝ පැරාලිම්පික් ශ්‍රී ලංකා රන් පදක්කම් ලාභියාට උසස්වීමක්

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 67.79 ක දුරක් වාර්තා කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත්තේය.

ගජබා රෙජිමේන්තුවේ සැරයන් හේරත් කොටි ත්‍රස්තවාදයට එරෙහි සටන අතරතුර 2008 වර්ෂයේ කිලිනොච්චියේදී තුවාල ලැබූ අතර පසුව ඔහු පැරා මලල ක්‍රීඩා සඳහා සහභාගී වූ බව හමුදාව පවසයි.

ඔහු හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින්, යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම (මීටර 52), 2012 මැලේසියාවේ පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම ස්ථානය (මීටර් 52.95), 2017 ජර්මනියේ පැරා මලල ක්‍රීඩා (සුදුසුකම් ලැබීමේ) තරගාවලියේ දෙවන ස්ථානය (මීටර 53.09) සහ 2017 ලන්ඩනයේ පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන ස්ථානය (මීටර් 59.09) දිනා ගෙන ඇති බව යුද හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

යාවත්කාලීන කිරීම

ටෝකියෝහි පැවති 2020 පැරාලිම්පික් තරගාවලියේදී රන් පදක්කමක් දිනා ඉතිහාසගත වූ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ  (විශ්‍රාමික) අනුමැතිය ඇතිව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් බලලත් නිලධාරී 1 නිලය දක්වා උසස් කරන ලදී.