කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගුවන් හමුදාවෙන් තවත් ඔක්සිජන් චිකිත්සා ඒකක

සැප්තැම්බර් 01, 2021

සමාජ සුභසිද්ධිය උදෙසා වෛද්‍ය උපකරණ නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කරාපිටිය ශික්ෂණ රෝහල සහ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය සඳහා තවත් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් ඊයේ (අගෝස්තු 31) දින භාර දෙන ලදී.

ඒ අනුව මෙම ප්‍රතිකාර ඒකක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය හර්ෂ ගමගේ වෙත සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තා සූරියආරච්චි වෙත භාර දෙන ලදී.

වෛද්‍ය ගමගේ සහ වෛද්‍ය සූරියආරච්චි පැවසු පරිදි, අදාළ රෝහල් වල කොවිඩ් -19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඒකක භාවිතා කෙරනු ඇත.

කටුනායක සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය සහ රත්මලාන විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව මෙම ප්‍රතිකාර ඒකක නිෂ්පාදනය කළ බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර සහ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු එයාර් කොමදෝරු ප්‍රසන්න රණසිංහ යන නිලධාරින්ද සහභාගී වූහ.