එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සඳහා සහායවීමට එක්සත් ජනපද රජයෙන් පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ උපකරණ පරිත්‍යාගයක්

සැප්තැම්බර් 03, 2021

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයමේ (Combat Convoy Company) භාවිතය සඳහා පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ උපකරණ පරිත්‍යාග කෙරිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් මෙම අවස්ථාවට එක්වු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 14 වන රසායනික ජීවවිද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර බලඝණයේ අණදෙන නිලධාරි විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ උපකරණ භාරගන්නා ලදී.

ආරක්‍ෂක සහයෝගීතා කාර්යාලයේ ප්‍රධානී කොමදෝරු රොස් පීටර් (Commander Ross Peters) සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා විශේෂඥ කපිල දිසානායක මහතා ඇතුළු නියෝජිත පිරිස මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කඳවුරු පරිශ්‍රය වෙත පැමිණ මෙම පරිත්‍යාගය සිදුකළහ.

මෙලෙස පරිත්‍යාග කරන ලද උපකරණ අතර දුරස්ථව ක්‍රියාත්මක වන වාහන 2 ක් (Remotely Operated Vehicles) සහ බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ කට්ටල 6 ක් (Bomb Disposal Suits) සමන්විත වේ.

මෙම පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර එක්සත් ජනපද රජයට සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට සිය හෘදයාංගම ස්තූතිය පුද කළහ.

තවද, මෙම පරිත්‍යාගය යථාර්තයක් බවට පත් කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොක්ස් (Lieutenant Colonel Travis Cox) වෙත සිය ස්තූතිය පුද කල මේජර් ජෙනරල් නිහාල් අමරසේකර මෙම උපකරණය පරිත්‍යාග කිරීම මඟින් පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාකරුවන්ගේ හැකියාවන්, විශ්වසනීයත්වය සහ ආත්ම විශ්වාසය නිසැකවම ඉහළ නැංවෙන බව අවධාරණය කළේය.

නුඳුරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අපේක්‍ෂා කරන බවත් එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී කොමදෝරු රොස් පීටර් (Commander Ross Peters) මෙහිදි පැවසීය.

අනුග්‍රහය - www.army.lk