නාවික හමුදාව ප්‍රමුඛ ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් මිලියන 3100 ක් වටිනා හෙරොයින් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

සැප්තැම්බර් 04, 2021
  • ඒකාබද්ධ මෙහෙයුමේ සාර්ථකත්වයට ජනාධිපතිගෙන් පැසසුම් - ආරක්‍ෂක ලේකම්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ එක්ව රුපියල් මිලියන 3100 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 336 ක් සමඟ විදේශීය ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 740 ක් දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී අද (සැප්තැම්බර් 4) අත්අඩංගුවට ගැනීම ජනාධිපතිතුමාගේ ප්‍රශංසාවට ලක්වූ බව කොළඹ වරායට පැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සඳහන් කරන ලදි.

ශ්‍රී ලංකා පොලීසියට ලද තොරතුරක් මත හෙරොයින් ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාව නාවික හමුදා සමුදුර නෞකාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටනේ මුලිකත්වය ගෙන කටයුතු කරන ආරක්‍ෂක ලේකම් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 740 ක් (1370 km) ඔබ්බෙන් වූ ඉලක්කයක් හඹා යමින් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගනිමින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අල්ලාගත් නාවික හමුදා කාර්ය මණ්ඩලයේ කැපවීම පිළිබඳව අගය කලේය.

ආරක්‍ෂක ලේකම්වරයා මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් හෙළි කළේ අගෝස්තු 12 දා සිට මෙම මත්කුඩු තොගය අල්ලා ගැනීමට සැලසුම් සකස් කළ බවත්, මුහුදේ රළු ස්වභාවය නොතකා සමුදුර නෞකාව මෙහෙයුම සිදු කළ බවත්ය.

මෙම ඒකාබද්ධ මෙහෙයුමේ ජයග්‍රහණය පිළිබඳව සඳහන් කරමින් ඔහු කියා සිටියේ මෙම සාමූහික උත්සාහයන් ඉදිරියට ගෙන ගියහොත් අනාගතයේදී මත්ද්‍රව්‍ය වලින් තොර නිදහස් රටක් ඇති ඇති කරගත හැකි වන බවයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසන පරිදි කොළඹ වරායට ගෙන එන ලද යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙනු ලැබේ.

මෙම මෙහෙයුම සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කර ඇත.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ජ්‍යෙෂ්ඨ නාවික හමුදා හා පොලිස් නිලධාරින් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු ද එක්විය.