වෙරලාරක්ෂකයින් සඳහා විනිශ්චය පුහුණු වැඩසටහනක්

සැප්තැම්බර් 07, 2021

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහනේ සුදුසුකම් ලත් නියෝජිතයන් විසින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නිලධාරින් වෙත විනිශ්චය පිලිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා මිරිස්ස උසස් පුහුණු මධ්‍යස්ථානයේදී ලබා දෙන ලදී.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලට අනුව, මෙම විනිශ්චය පුහුණුව, මොඩියුල හතරකින් සමන්විත වන අතර, එක් දින සැසි දෙකකින් සමන්විතව, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සුදුසුකම් ලත් විදේශීය උපදේශකයෙකු වන ඇන්ඩෘෘ බෙනට් විසින් මෙහෙයවනු ලැබීය.

විවිධ අවස්ථා වලදී පුද්ගලයින් විනිශ්චය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම, මෙම පුහුණු මොඩියුලයන් මගින් සිදුවන අතර, ඒ අනුව වෙරළාරක්ෂක නිලධාරීන් 32 ක් පුහුණුව ලැබූ බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

සංකීර්ණ පරිසරයක් තුළදී කඩිනමින්, නීත්‍යානුකූල, ඵලදායී, නිවැරදි තීරණ සහ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සජීවිකරණ සහ ප්‍රායෝගික අවස්ථා මගින් ලබාදෙනු ලබන පුහුණු වීම්ද මෙහි ඇතුලත් විය.

මෙම පුහුණුව තුළින් ලැබූ දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් සහභාගිවුවන් සඳහා ඉතා ප්‍රයෝජනවත් බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් සහ එහි ශ්‍රී ලංකා කාර්යාලයේ ඉහළ පෙළේ නියෝජිතයින් මෙම පුහුණු වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණි අතර වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක ඔවුන්ගේ සේවය අගය කළ අතර එහි ප්‍රධානී වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.