වසංගතය අඛණ්ඩව පැවතුනද, රටේ සංවර්ධන
ඉලක්ක කරා යා යුතුයි - ආරක්‍ෂක ලේකම්

සැප්තැම්බර් 09, 2021
  • සංවර්ධනය රඳා පවතින්නේ ජාතික ආරක්‍ෂාව තහවුරුකරමින් ඇති කරගනු ලබන ස්ථාවරත්වය මතයි

වසංගත තත්වය අඛණ්ඩව පැවතුනද, අපේ රට අනතුරේ හෙළීමට ඉඩ නොතබා, ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින් ඇති කරගනු ලබන ස්ථාවරත්වය මත අපේ සංවර්ධන ඉලක්ක කරා යාමට අපි සැමවිටම කටයුතු කළ යුතු බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (සැප්තැම්බර් 9) දින පැවසීය.

දශක තුනකට ආසන්න කාලයක් රටට විශාල තර්ජනයක් ව තිබු ත්‍රස්තවාදය ගැන මෙන්ම රටේ සංවර්ධනය පිළිබඳව සඳහන් කරමින් ඔහු පැවසුයේ, පැවති ත්‍රස්තවාදී උවදුරෙන් රට මුදා ගැනීමට අපට හැකි වූවත් එවැනි මුළු ලෝකයටම විශාල තර්ජනයක් එල්ල කර ඇති වසංගතයක ස්වරූපයෙන් පැමිණි තර්ජනයකට අප මුහුණදී සිටින බවයි.

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද 14 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සමාරම්භක උත්සවයේදී ආරක්‍ෂක ලේකම් මෙම අදහස් පළ කළේය.

අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර එහි ප්‍රධාන දේශනය ඔහු විසින් සිදු කරන ලදී.

රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් මෙවර කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ පර්යේෂණ ඉදිරිපත් කිරීම් මාර්ග ගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරේ.

තවදුරටත් අදහස් දක්වමින් ජෙනරල් ගුණරත්න අවධාරණය කළේ, අද වන විටත්, අවසන් වන දිනයක් පිළිබඳව නොකිවහැකි කොවිඩ් - 19 වසංගතය හමුවේ සහජීවනය පවත්වා ගැනීම සඳහා මෙම නව තත්වයට අනුවර්තනය වීමේ ක්‍රම සහ විධි අප සියලු දෙනා විසින් අවබෝධ කර ගැනීම හා අනුගමනය කිරීම ඉතා අත්‍යවශ්‍ය බවයි.

එවැනි වාතාවරණයක් තුළ, දුෂ්කරතා මධ්‍යයේ වුවද ජාතික සංවර්ධන ඉලක්ක කරා රට යොමු කිරීම සඳහා මාර්ග සෙවීමට ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප උත්සාහ කළ යුතු බව ඔහු පැවසීය.

ගෝලීයකරණය සහ පසුගිය දශක කිහිපය තුළ පැවති ආර්ථික ඒකාබද්ධතාවය පිළිබඳව තවදුරටත් අවධාරණය කරමින් ජෙනරල් ගුණරත්න පැවසුයේ, රටක ජාතික සංවර්ධනය සහ ජාතික ආරක්‍ෂාව අතර සම්බන්ධය වඩාත් අන්තර් සම්බන්ධිත වෙමින් පවතින බවයි.

සංවර්ධනය සහ ජාතික ආරක්‍ෂාව අතර සම්බන්ධයත් සමඟ ජාතික සංවර්ධනය ශ්‍රී ලංකා රජයේ වැදගත් උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස ඉස්මතු වී ඇත, යනුවෙන් ද ඔහු පැවසීය.

බොහෝ බාධක හමුවේ මානව ආරක්‍ෂාව සහතික කරමින් රටේ ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජය විසින් ගනු ලබන පියවරයන් පිලිබඳ ව සඳහන් කරමින් ජෙනරල් ගුණරත්න කියා සිටියේ, රටක අභ්‍යන්තර කටයුතු වලට බලපෑම් ඇති වූ විට අපේක්ෂිත ඉලක්කයන් වෙත ළඟාවීම අතිශයින් දුෂ්කර බවයි.

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව දිගු කාල සීමාවක් ආර්ථික වශයෙන් නැවතීමක් සිදු කිරීම කළ නොහැකි බව සඳහන් කල ආරක්‍ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ, ආර්ථික ජයග්‍රහණ වේගවත් කිරීමේ ඕනෑම සැලැස්මකදී කිසි විටෙකත් මිනිස් ජීවිත පරදුවට නොතැබිය යුතු අතර ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගමනය පවත්වා ගැනීම සහතික කිරීම සඳහා පවතින සියලු අවස්ථා ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි ජනාධිපතිවරයා සිය දැඩි උනන්දුව ප්‍රකාශ කර ඇති බවයි.

එමෙන්ම රටක ස්ථාවරත්වය කෙරෙහි දැඩි තර්ජනයක් එල්ල කරන දැඩි අන්තවාදය, ත්‍රස්තවාදය, මුහුදු කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ඇතුළු වෙනත් ජාවාරම්, සයිබර් අපරාධ හා අනෙකුත් සංවිධානාත්මක අපරාධ මෙන්ම ස්වාභාවික විපත් වැනි අනෙකුත් සමකාලීන ආරක්‍ෂක කාරණා අප විසින් අමතක නොකළ යුතු බවත් මෙහිදී සඳහන් කරන ලදී.

මෙවැනි තර්ජනයන්ට ගොදුරු විය හැකි රටේ භූ ගෝලීය උපායමාර්ගික පිහිටීම ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ, එවැනි නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා අධි ආරක්‍ෂිත බන්ධනාගාර සංකල්පය ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රිය ආරක්‍ෂක වැඩසටහන් දියත් කිරීම වැනි ඉතා ඵලදායී පියවර ගණනාවක් රජය විසින් මේ වන විට ආරම්භ කර ඇති බවත්ය.

කෙසේ වෙතත්, එවැනි ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල අපේ රටේ ස්ථාවරත්වයට මධ්‍යස්‌ථ මට්ටමේ තර්ජනයක් එල්ල කරන බව ඔහු සඳහන් කළේය.

මෙවැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවක වැදගත්කම ඉස්මතු කළ ජෙනරල් ගුණරත්න පැවසුයේ, රටක ස්ථාවරත්වයට හානි කරන මේ සියලු තර්ජනයන්ට මුහුණ දීම රජයකට පමණක් කල නොහැකි අතර රටේ ස්ථාවරත්වය හා සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමේදී සලකා බැලිය යුතු නව අදහස් හා යෝජනා ලබා දීම වගකිව යුතු පුරවැසියන් වශයෙන් අපේ යුතුකමක් බවයි.

මෙම අවස්ථාව සනිටුහන් කිරිම වෙනුවෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් ආරක්‍ෂක ලේකම් වෙත සමරු තිලිණයක් ප්‍රධානය කරන ලදී.

මෙම සමාරම්භක උත්සවයේ පිළිගැනීමේ කතාව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති විසින් සිදු කරන ලදී.

තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් හෙක්ටර් ද සිල්වා (විශ්‍රාමික), වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, වෙනත් විශ්වවිද්‍යාල වල කුලපතිවරු සහ උප උපකුලපතිවරු, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරුන්, පීඨාධිපති වරුන් සහ අධ්‍යක්‍ෂවරුන්, හිටපු කුලපතිවරුන්, උපකුලපතිවරුන් සහ සේනාවිධායකවරුන්, ප්‍රවීණ විද්වතුන්, උසස් හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ සහ විදේශීය කීර්තිමත් සම්භාවනීය අමුත්තන්ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.