මුහුදු කූඩැල්ලන් 72,000 කට අධික තොගයක් ඉරුක්කුලම්පිඩ්ඩිහිදී නාවික හමුදා භාරයට

සැප්තැම්බර් 13, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 72,542ක පමණ තොගයක් ඊයේ  (සැප්තැම්බර් 12) අත්අඩංගුවට ගෙන ඇත.

මෙහෙයුම උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා මගින් සිදු කළ අතර සැකකරුවන් දෙදෙනෙක් සහ සැහැල්ලු මෝටර් රථයක් ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් චාවකච්චෙරි සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 20ත් 46ත් අතර පසුවන පුද්ගලයන් බවට හඳුනාගෙන ඇත.

එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව තහවුරු කරයි.