මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිඳු අයුරකින් ඉඩක් නැහැ - ආරක්ෂක ලේකම්

සැප්තැම්බර් 19, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ එක්ව රුපියල් මිලියන 1575 ක්  වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 170 කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ විදේශීය ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබියදී සැකකරුවන් 9 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් 18 දින කොළඹ වරායට රැගෙන එන ලදී.

මත්ද්‍රව්‍ය පටවා තිබූ මෙම  යාත්‍රාව ශ්‍රී ලංකාවේ දකුණු මායිමේ සිට නාවික  සැතපුම් 850 ක් පමණ (කි.මී. 1574 ක් පමණ) ඈතින් වූ ජාත්‍යන්තර මුහුදේ බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් රඳවා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය වලින් තොර සමාජයක් ඇති කිරීම සඳහා නාවික හමුදාව  මේ  හා සමාන මෙහෙයුම් සිදු කරමින් සිටී.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අඛණ්ඩව මෙවැනි මෙහෙයුම්වල යෙදී සිටින බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) තහවුරු කළේය.

සියළු බුද්ධි අංශ වල සම්බන්ධීකරණයෙන් නීති විරෝධී භාණ්ඩ මෙරටට ගලා ඒමේ සියලු මාර්ග තවදුරටත් සීමා කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.