රුපියල් මිලියන 27 ක් වටිනා ගංජා තොගයක් මන්නාරමේදී අත්අඩංගුවට

සැප්තැම්බර් 26, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සැප්තැම්බර් මස 24 දින මන්නාරම, වලෙයිපාඩු සහ ඒ ආසන්න මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුම් දෙකකදී ගංජා කිලෝග්‍රෑම් 91 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය වලෙයිපාඩු වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට වාර්තා වේ.

වෙරළ තීරයට පැමිණ තිබු සැක කටයුතු වල්ලම් යාත්‍රා දෙකක් පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ ගංජා කිලෝ 4 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව එම ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරීමේදී කිලෝග්‍රෑම් 86 කට අධික තවත් ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව මෙම නාවික හමුදා මෙහෙයුම මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කේරල ගංජා කිලෝ 91 යි ග්‍රෑම් 351 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා ආරංචි මාර්ග වලට අනුව මෙම ගංජා තොගයේ විථි වටිනාකම රුපියල් මිලියන 27 කට අධික වන බවට විශ්වාස කෙරේ.

කොවිඩ් -19 වැලැක්වීමේ මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම මෙහෙයුම් සිදු කළ බව නාවික හමුදාව තහවුරු කරන ලදී.