කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගුවන් හමුදාව වෛද්‍ය උපකරණ ලබා දෙයි

ඔක්තෝම්බර් 07, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රජයේ රෝහල් වල භාවිතා කිරීම සඳහා තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් පසුගියදා සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දී ඇතැයි ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදාව විසින්ම තමන්ගේම තාක්‍ෂණයෙන් හා නිපුණතාවයෙන් යුතුව නිපදවන ලද මෙම ප්‍රතිකාර ඒකක මහනුවර ජාතික රෝහලේ සහ යාපනය තෙලිප්පලෙයි මූලික රෝහලේ භාවිතය සඳහා ලබා දී ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක භාවිතා කෙරේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී මෙම උපකරණ දෙක මහනුවර ජාතික රෝහලේ සැලසුම් ඒකකය භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද් ගුණසිංහ මහතාට සහ යාපනය තෙලිප්පලෙයි මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ රජීව් නිර්මලසිංහම් මහතා වෙත පිරිනමන ලදී.

2021 මැයි මාසයේ දී ගුවන් හමුදාව විසින් නිෂ්පාදිත මෙම ඒකකයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමන ලදී.

නිසි ආරක්‍ෂක ප්‍රමිති සහතික කිරීම සඳහා මෙම තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දැඩි තත්ත්ව පරීක්‍ෂණයන්ට භාජනය කර ඇත.