ග්‍රාමීය පාසල් වල පහසුකම් වැඩි දියුණු කිරීමට නාවික හමුදාව සහාය

ඔක්තෝම්බර් 08, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව කළුතර අගලවත්තේ පිහිටි කෙලින්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යපෘතිය යටතේ සංවර්ධනය කරන ලදී.

පාසලේ පන්ති කාමර ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය, ජලනල, විදුලි, සනීපාරක්ෂක පහසුකම් සැලසීම, ආරක්ෂක වැට, ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම් ආදිය නාවික හමුදා දායකත්වයෙන් සිදු කල බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙම වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී ආරම්භ කරන ලද මෙම පාසල් ව්‍යාපෘතිය නිම කර ඔක්තෝබර් 07 දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් නිල වශයෙන් පාසල් බලධාරීන් වෙත භාර දුන් බව ද නාවික හමුදාව සඳහන් කරයි.

මීට අමතරව පාසලේ පරිපාලන කටයුතු සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර පාසලේ ආරක්ෂක කැමරා පද්ධතියක් ද සවි කර ඇත. විද්‍යාලයේ බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා පරිගණක සහ පරිගණක මේස ද සපයා ඇති බව නාවික හමුදාව පවසයි.

ග්‍රාමීය පාසල්වල අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් නාවික හමුදාවේ නැගෙනහිර, උතුරු සහ වයඹ නාවික විධානයන් විසින් සංවර්ධනය කරන ලද එවැනි පහසුකම් සිසුන් සඳහා දැනටමත් පවරා ඇත.