ග්‍රාමීය ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව 874 වන ජලපිරිපහදු මධ්‍යස්ථානය පිහිටුවයි

ඔක්තෝම්බර් 10, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුභසාධන සේවාවන් අඛණ්ඩව සිදුකරමින් කරුවලගස්වැව, රජවිගම ප්‍රදේශයේ පානීය ජල හිඟතාවයෙන් පීඩාවට පත් ජනතාව සඳහා ඊයේ (ඔක්තෝම්බර් 09) දින තවත් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මිය විසින් රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථානයේ අලුතින් ස්ථාපනය කරන ලද මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

නිදන්ගත වකුගඩු රෝගය වැළැක්වීමේ ජාතික වැඩසටහනට දායක වෙමින් නාවික හමුදාව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව රට පුරා ජල පිරිපහදු මධ්‍යස්ථාන 874 ක් ස්ථාපිත කර ඇත.

මේ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අනුග්‍රහය ලැබුණ බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

පුජනීය මහා සංඝරත්නය, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.