දිළිඳු පවුල් සඳහා යුද හමුදාවෙන් නව නිවාස

ඔක්තෝම්බර් 17, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව සිය ප්‍රජා සුභසාධන ව්‍යාපෘති පුළුල් කරමින් දානපතියන්ගේ සහයෝගය ඇතිව දිළිඳු පවුල් වෙත තවත් නිවාස දෙකක් ඉදිකර මෑතකදී භාර දෙනු ලැබීය.

ඒ අනුව, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් ඉදිකරන ලද නිවසක් නෙදුන්කේනි මරුතෝඩෙයි පදිංචි පී. විජේන්ද්‍රානි මහත්මියගේ පවුලට ලබා දුන් බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

'ඩොවෙල්ස්' වෛද්‍යවරුන්ගේ සුභසාධක සංගමයේ මහනුවර සභාපති නලින්ද දිසානායක මහතා, වෙහෙරතැන්න මෙටල් ක්‍රෂර්ස් පුද්ගලික සමාගමේ හිමිකරු දිලීප් ජයකොඩි මහතා, කපිතාන් ලක්ෂ්මන් (විශ්‍රාමික), රංජුල මහතා සහ 11 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් මෙම වටිනා කාර්යය සඳහා මූල්‍යමය වශයෙන් දායක වූ බව යුද හමුදාව පැවසීය.

මේ අතර, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 4 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් ඉදිකරන ලද තවත් නිවසක් උන්නච්චි සිප්පිමඩුහි පදිංචි එම්. එම්. එස්. ටී. කුමාර නන්දසේන මහතාට පවරා දී ඇති අතර හෘද ශල්‍ය වෛද්‍ය මුදිත ලංසකාර මහතා මෙම මුළු ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වූ අතර යුද හමුදාව විසින් ශ්‍රම හා තාක්‍ෂණික දායකත්වය ලබා දී ඇත.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, පරිත්‍යාගශීලීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් නිවෙස් භාර දුන් බව යුද හමුදාව තහවුරු කරයි.