යුද හමුදාව නිෂ්පාදනය කල කාබනික පොහොර තොගයක් ‘ලක් පොහොර’ සමාගමට ලබා දෙයි

ඔක්තෝම්බර් 27, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මහ කන්නය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝග්‍රෑම් 86,961 ක ප්‍රමාණයක් ඊයේ (ඔක්. 26) දින සීමාසහිත ලංකා පොහොර සමාගම වෙත භාරදෙන ලදී.

රජයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණින් වැලිකන්ද පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී යුද හමුදා භට පිරිස් විසින් මෙම පොහොර තොගය නිෂ්පාදනය කරන ලදී.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් සීමාසහිත ලංකා පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරී ආර්.ඒ.පී. පෙරේරා මහතා වෙත මෙම කාබනික පොහොර තොගය සංකේතාත්මකව භාරදුන් බව යුද හමුදාව පවසයි.

මෙම පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන කටයුතු සඳහා සුදුසුකම් ලත් නිලධාරින් හා භටපිරිස් දායක වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සීමාසහිත ලංකා පොහොර සමාගමේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකාර භවතුන් සහභාගී වූ අතර මෙම උත්සවය කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කර ඇත.