ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට යුද්ධ හමුදා භටපිරිස් සහන සලසයි

නොවැම්බර් 09, 2021

දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාපතනයෙන් දැඩි ලෙස විපතට පත් ප්‍රදේශවලින් පීඩාවට පත් වුවන් ඉවත් කිරීම, මුදාගැනීම් සහ සහන සේවා කටයුතු ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ආරම්භ කර ඇති අතර, රටෙහි පවතින අයහපත් කාලගුණය තුළ ගංවතුරෙන් විපතට පත් ජනතාවට මානුෂීය ආධාර ලබාදෙමින් සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටියි.

ධාරානිපාත වර්ෂාවත් සමඟ රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිරවී සිටි 4 දෙනෙකු අද (නොවැ 9) අලුයම 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් බේරාගෙන රඹුක්කන රෝහලට ඇතුළත් කළ බව යුද හමුදාව පවසයි.

බරපතල තුවාල ලැබූ එම පවුලේ පියා රෝහලේ ප්‍රතිකාර ලබන අතර මව සහ දියණියන් දෙදෙනා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව ශ්‍රී ලංකා යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් එම ස්ථානය පිරිසිදු කිරීමේ සහ ඔවුන්ගේ වටිනා භාණ්ඩ ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා නැවත ලබා ගැනීමේ උත්සාහයක නිරතව සිටිති.

මේ අතර, මහකළුපහන කඳුවැටිය නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසු 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු භට පිරිස් විසින් පවුල් 11 ක සාමාජිකයින් 42 ක් වහාම එම අවධානම් සහිත කලාපයෙන් ඉවත්කර විජේසුන්දරාරාම විහාරස්ථාන පරිශ්‍රය තුළ අද දින රඳවා තබන ලදි.

මේ අතර, 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් පොල්ගහවෙල ගොඩවෙල ප්‍රදේශයෙන් පවුල් 50 කට වැඩි ප්‍රමාණයක් මුදවා ගෙන ඔවුන් පහසු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

මේ අතර, පිටාර ගැලීමට ආසන්නව පවතින පුත්තලම, නැදුන්කුලම් වැවේ වැව් බැම්ම බිඳියාමේ අවධානමක පැවතීම හේතුවෙන් එම වැව් බැම්ම ශක්තිමත් කිරීම සඳහා යුද්ධ හමුදා 1 වන බලකාය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ භටපිරිස් සහ 143 වන බලසේනාවේ භටපිරිස් එක්ව වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කරගැනීම සඳහා අවදානම් ස්ථානවලට වැලි කොට්ට දැමීම ආරම්භ කර ඇති බව යුධ හමුදා ආරංචි මාර්ග තහවුරු කරයි.

612 බලසේනාවේ බලසේනාධිපතිවරයා විසින් දැනට ඉවත් කරන මෙහෙයුම් අධීක්‍ෂණය කරමින් සිටින අතර මිනිසුන්ගේ දේපළ හා වටිනා දේවල ආරක්ෂාව සඳහා භට පිරිස් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරංචි මාර්ග පවසයි.

ඕනෑම අයහපත් කාලගුණික තත්ත්වයකට මුහුණ දීම සඳහා අවධානම් සහිත ප්‍රදේශවල භට පිරිස් සූදානම්ව සිටින බව යුද හමුදාව තහවුරු කරයි.