දකුණු සුඩානයේ ‘SRIMED’ 2 වන අදියරේ රෝහල් කාර්යය මණ්ඩලය වෙත පැසසුම්

නොවැම්බර් 15, 2021

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු, ශ්‍රී ලංකා 7 වන කණ්ඩායම විසින් කළමනාකරණය කරනු ලබන දකුණු සුඩානයේ ‘SRIMED’ 2 වන අදියරේ රෝහල පසුගියදා සිදු කරන ලද ඇගයීම් සමාලෝචනයකදී පැසසුමට ලක්ව ඇත. යුද හමුදා මාධ්‍යවලට අනුව, දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ ක්ෂේත්‍ර මූලස්ථානයේ රෝහල් ඇගයීම් තක්සේරුව, එහි සමාලෝචනයේදී දකුණු සුඩානයේ බෝර්හි පිහිටි මෙම වෛද්‍ය පහසුකම් අගය කර ඇත.

නැගෙනහිර කොටසේ මූලස්ථාන මාණ්ඩලික නිලධාරීන් විසින් මෙම සමාලෝචනය සිදු කරන ලද අතර, නියෝජ්‍ය බලකා වෛද්‍ය නිලධාරී ලුතිනන් කර්නල් ෆාතිමා සෙයින් ඛාන් විසින් මෙම කණ්ඩායම මෙහෙයවන ලද බව එහි සඳහන් වේ.

නැගෙනහිර අංශයේ වෛද්‍ය ප්‍රධානියා ලෙස රෝහල් අණදෙන නිලධාරි සහ සැපයුම් නිලධාරි ලෙස ඇති දැනුම, මෙහෙයුම් සහාය සඳහා ඇති අදාළ අංශ, හදිසි සැලසුම් සහ ඒ සඳහා ඇති සූදානම, වෛද්‍ය පහසුකම්, ප්‍රමාණවත් වෛද්‍ය සැපයුමක් පවත්වා ගැනීමට ඇති හැකියාව, කොවිඩ් - 19 වැළැක්වීමේ පියවරයන් යනාදිය පිළිබඳව මෙම තක්සේරුව අවධානය යොමු කර ඇති බව එහි සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ රෝගී සත්කාර තත්ව මාර්ගෝපදේශයන්ට අනුව සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයේ ඇති දැනුම සහ ‘SRIMED’ 2 වන අදියරේ රෝහලේ අනතුරු කළමනාකරණය සඳහා ඇති සූදානම ද මෙහිදී ඇගයීමට ලක් වූ බව වැඩිදුරටත් සඳහන් කරයි.