රණවිරුවන්ට සෙත් පතා 'සඳහිරු ස්ථූප' පරිශ්‍රයේ දී දානමය පිංකමක්

නොවැම්බර් 20, 2021

සඳහිරු සෑයේ කොත් වහන්සේ නොවැම්බර් 18 වන දින නිරාවරණය කිරීමෙන් අනතුරුව ඊයේ (නොවැ 19) දින එහි දානමය පිංකමක් (සංඝගත දක්ෂිණාව) පැවැත්විණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව සඳහිරු මහා සෑ පරිශ්‍රයේ පැවති ආගමික වතාවත් ඇතුළු මෙම දානමය පුණ්‍යකර්මයට ද එක් විය.

ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සිය ධූරයේ දෙවන වසර සම්පූර්ණ කිරීම වෙනුවෙන් ආගමික ආශිර්වාද ලබා ගැනීමද මෙහිදී සිදු කෙරුණු අතර රණවිරුවන් සිහිපත් කිරීම ද සිදු කෙරුණේ ඔවුන් වෙනුවෙන් ආශිර්වාද කරමිනි.

සඳහිරු සෑ රදුන් ලොවට දයාද කිරීම සහ රණවිරුවන්ට සෙත් පැතීම නිමිත්තෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් මෙම දානමය පිංකම සංවිධානය කරන ලදී.

මහා සංඝරත්නය, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිණිය, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, නාවික හා ගුවන් හමුදා ප්‍රධානීන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රාජ්‍ය නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයන් සහ මියගිය රණවිරුවන්ගේ ඥාතීන්ද මෙම පිංකම සඳහා සහභාගී වුහ.