සයවන වරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 'බීජ බෝම්බ' හෙළයි

නොවැම්බර් 24, 2021
  • ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මගින් බීජ බෝම්බ 65,000 ක් හෙළයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටරයක් යොදාගනිමින් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වත්තේගම කැබිලිත්ත රජයේ රක්ෂිතයට බීජ බෝම්බ 65,000ක් පමණ ප්‍රමාණයක් අඟහරුවාදා (නොවැ 23) හෙළන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකයට අනුව මෙම බීජ බෝම්බ හෙළීම හයවන වරටත් සිදු කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ MAS Capital (Pvt) Ltd යන ආයතනවල සහයෝගීතාවය යටතේය.

රක්ෂිතයේ අක්කර 70ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙම බීජ බෝම්බ හෙළා ඇති බව ගුවන් හමුදාව පවසයි. පසුගිය සති කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් සහිත මෙම මෝසම් සමයේදී බීජ ප්‍රරෝහණය වී මුල් බැස ගැනීමට වැඩි අවස්ථාවක් ඇතැයි අපේක්ෂා කෙරේ.

කොන්, කොහොඹ, මයිල, මා දං , සියඹලා, මී, පලු, කුඹුක්, වීර, බුළු, කිතුල්, මූනමල්, අරළු, දොඹ සහ කැට කෑල වැනි දේශීය ගස්වල බීජ මෙම බීජ බෝම්බවල තැන්පත් කර ඇත.