ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සබැඳි සම්බන්ධීකරණ රැස්වීමක් පවත්වයි

නොවැම්බර් 27, 2021

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සහ බංගලාදේශයේ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිත මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම අරමුණු කරගත් සම්බන්ධීකරණ රැස්වීමක් සඳහා මිරිස්ස ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණෙන ලදි.

එක්සත් ජාතීන්ගේ දූත පිරිස ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් මහතා විසින් මෙහෙයවන ලද අතර, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මහජන ආරක්‍ෂක අංශයේ අතිරේක ලේකම් ජී එස් එම් ජෆර් උල්ලා මහතා විසින් බංග්ලාදේශ නියෝජිත පිරිස මෙහෙයවන ලදි.

මුහුදේදී සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සහයෝගීතාව ඇති කර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූ බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

තවද, තොරතුරු හුවමාරු කර ගැනීමේ වැදගත්කම, සම්බන්ධතා කේන්ද්‍රයක් ස්ථාපිත කිරීම, දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ හැකියාව සහ ක්‍රමෝපායන් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මෙහෙයුම් සඳහා අනාගත සහයෝගීතාව ඇති කිරීමට පහසුකම් සැලසීමට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය එකඟ වී ඇත.