යාපනයේ දිළිඳු පවුල් දෙකකට යුද හමුදාවෙන් නිවාස දෙකක්

නොවැම්බර් 30, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවාස දෙකක් යාපනයේ කරෙයිනගර් සහ පුත්තූර් ප්‍රදේශවල දිළිඳු පවුල් දෙකක් සඳහා පසුගියදා වෙන්ව පැවති උත්සවවලදී ලබා දෙන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතා සහ මේ සඳහා මූල්‍යමය දායකත්වය ලබා දුන් යාපනයේ කීර්තිමත් දානපතියන් වන මෝහන් ශංකර් මහතා සහ එම මැතිණියගේ ප්‍රධානත්වයෙන් තම්පිරාසා මාතියලාගන් මහතා සහ එස්. සුරේෂ්කුමාර් මහතා වෙත නව නිවෙස්වල යතුරු භාරදුන් බව යුද හමුදාව පවසයි.

11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 15 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවති මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රජයේ නිලධාරීන්, දානපතියන් සහ භටපිරිස් සහභාගීවූ බව යුද හමුදාව පවසයි.