නැගෙනහිර පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත නව සාමාජිකයින් තිදෙනෙකු පත් කෙරේ

නොවැම්බර් 30, 2021

නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත නව සාමාජිකයින් තිදෙනෙකු ඊයේ (2021 නොවැම්බර් 29) දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පත් කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම්පති ආරියරත්න දිසානායක මහතා, විශ්‍රාමික පළාත් ප්‍රධාන ලේකම් ඒ. පතිනාදන් මහතා සහ කථිකාචාර්ය මුෆිසාල් අබුබක්කර් මහතා ජනාධිපති කාර්ය සාධක බලකායෙහි නව සාමාජිකයින් වේ.

හිටපු මිනුම්පති ඩබ්ලිව්.ටී.එම්.එස්.බී. තෙන්නකෝන් මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් ඇති හෙයින් ඒ වෙනුවට මැනුම්පති දිසානායක මහතා පත්කර ඇත.

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික සංයුතිය තවදුරටත් පුළුල් කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව ගැසට් නිවේදනයේ දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් සභාපති ලෙස නම් කරමින් පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය 2020 ජුනි 2 වන දින පත් කරන ලදී.