එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සමාජිකයින්ට යුද හමුදාවෙන් නිවාස

දෙසැම්බර් 01, 2021

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවනෝපාය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂීය මෙහෙවරක් ලෙස යාපනය අර්ධද්වීපයේ අල්වායි සහ තුම්පාලෙයි හි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් දෙදෙනෙකුට නිවාස දෙකක් ඉදිකිරීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් මුල්ගල් තැබූ බව යුද හමුදාව පවසයි.

මෙමගින් තර්සන් යෝගේශ්වරී මහත්මියගේ සහ නිරෝජන් යෝගම් මහත්මියගේ පවුල්වලට නිවාස පහසුකම් සැලසෙනු ඇත.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ සුරතින් නව නිවාස දෙක ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අවස්ථා දෙකකදී සිදුකරන ලදි.

යුද හමුදාව විසින් මෙම පවුල්වලට වියළි සලාක ඇසුරුම් සහ දරුවන් සඳහා ලිපි ද්‍රව්‍ය ද තිළිණ කරන ලදි. එම අවස්ථාවට පැමිණ සිටි පිරිසට ද වියළි සලාක මලු බෙදා දුන් බව යුද හමුදාව තවදුරටත් සඳහන් කරයි.

යුද හමුදාවේ ශ්‍රමයෙන් සහ තාක්‍ෂණික දායකත්වයෙන් මෙම නිවාස ඉදිකරන ලද අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් පිරිසකගේ දායකත්වයෙන් අමුද්‍රව්‍ය සඳහා අරමුදල් ලබා දී ඇත.